DONATE NOW
In Blog,Education,Environmental

පෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට ලක් කර හඳුනාගත් බලපෑම් වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ අවම කිරීමට වැදගත් වන උපායමාර්ග යෙදීම ද පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් සිදු කෙරේ. මේ නිසා මෙම වාර්තාව පූර්ව නිගමන මත නොව විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘතියට යෝග්‍ය ස්ථානය හඳුනා ගැනීමට පුලුල් විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව සැකසීම සිදු කළ යුතු ය.

ජාත්‍යන්තරව පිළිගත් පාරිසරික මූලධර්ම දෙකක් මත පදනම් ව පාරිසරික අණ පනත් මගින් පරිසර බලපෑම් තක්සේරුකරන ක්‍රියාවලිය නියාමනය වේ. ඉන් පළමු මූලධර්මය තිරසර සංවර්ධන මූලධර්මයයි. 1987 වසරේ දී බෲඩ්ලන් කොමිසම මගින් සකස් කළ “අපේ පොදු අනාගතය” (Our Common Future) නම් වාර්තාවේ වර්තමාන හා අනාගත පරපුරට සමාන ව සම්පත් බුක්ති විදීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන තිරසර සංවර්ධන සංකල්පය හඳුන්වා දී තිබේ. 1992 වසරේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 4 වන මූලධර්මය ලෙස මෙය විග්‍රහ කර ඇත.

පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය පදනම් වන දෙවන මූලධර්මය නම් සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පුරෝකථනය කර ඊට පිළියම් සෙවීමට වැදගත් වන පූර්ව ආරක්ෂණ (Precautionary Principle) නැතහොත් නිවාරණ මූලධර්මයයි. 1970 දශකයේ දී ජර්මන් පරිසර නීතියට එක් වූ මෙය රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස දීර්ඝ ව සාකච්ඡාවට ලක් කර තිබේ.

මෙම මූලධර්ම, සංකල්ප හා නීති සියල්ල ගොඩ නංවා ඇත්තේ රටේ ජනතාවගේ පමණක් නොව සියලු ජීවීන්ගේ වර්තමාන හා අනාගත පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා ය. මේ සියල්ල උල්ලංඝනය කරමින් සිදු කරන සෑම සංවර්ධන ක්‍රියාවලියකින්ම සිදු වන්නේ සමාජ, ආර්ථික හා පාරිසරික යන සෑම ක්ෂේත්‍රයකම බිඳ වැටීමකි.

මෙවන් දීර්ඝ හැදින්වීමකින් මෙම ලිපිය ආරම්භ කළේ මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 110 ක් ගොඩකර ස්ථාපිත කිරීමට යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියෙන් මේ සියල්ල උල්ලංඝනය කරමින් ආරම්භ කිරීමට උත්සාහ දරන නිසා ය.

පසුගිය මැයි මස 21 වන දා සිට ජූලි මස 8 වන දා දක්වා රජයේ වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා විවෘත කර තැබූ “ලංවිම සඳහා මුතුරාජවෙල පිහිටි ඉඩම සංවර්ධනය කිරීම” නම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී ගියේ පාරිසරික මූලධර්ම, පාරිසරික අණ පනත් හා පාරිසරික ප්‍රතිපත්ති යන සියල්ල උල්ලංඝනය කරමින් සැකසූ වාර්තාවක් බව ය.

නීති විරෝධී වාර්තාවකින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප්‍රධාන අංගයක් ලෙස අන්තර්ගත විය යුතු ප්‍රමාණවත් විකල්ප අධ්‍යයනය මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. විකල්ප අධ්‍යයනය මගින් බලාපොරොත්තු වන්නේ යම් ව්‍යාපෘතියකට යෝග්‍ය විකල්ප 3 ක් අතුරෙන් ඉතා ම යෝග්‍ය විකල්පය සාධාරනීකරණය කිරීමට කරුණු ගොණු කිරීමයි. එමගින් ව්‍යාපෘතියකට සුදුසු ම භූමිය හෝ ක්‍රමවේදය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. නමුත් එම ප්‍රධාන නෛතික අංගය ම මෙම වාර්තාවට ඇතුළත් කර නොමැත. ඊට හේතුව මීට වසර තුනකට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් වෙන් කළ භූමිය සාධාරනීකරණය කිරීමට මෙම වාර්තාවෙන් කරුණු ගොණු කර තිබීම ය. ඒ අනුව පෙනී යන්නේ පූර්ව නිගමන මත මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව ය. එපමණක් නොව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් තොර ව මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ සුවිශේෂී තෙත් බිම් අක්කර 110 ක් මෙලෙස වෙන් කර ඇත. එම තෙත් බිම් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පට්ටියවෙල ග්‍රාම නිලධාරී වසමට අයත් වේ. බලාගාර සඳහා ගොඩ කිරීමට මෙලෙස සැලැසුම් කර ඇත්තේ ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ සුවිශේෂී තෙත් බිම් ප්‍රදේශයකි.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24 ඇ හා ඈ වගන්තිවලට අනුව ප්‍රකාශිත 2006.10.13 වන දින අංක 1466/26 දරන අති විශෙෂ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 206.678 ක් ලෙස ප්‍රකාශයට පත් කළ මුතුරාජවෙල පරිසර ආරක්ෂක ප්‍රදේශය 2018.09.25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මගින් හෙක්ටයාර 162.10 ක් වන මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර හෙක්ටයාර 44.578 ක (අක්කර 110 ක්) වන තෙත් බිම් ප්‍රමාණයක් මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශයෙන් ඉවත් කර මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව තහවුරු වන්නේ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මත පදනම් ව ව්‍යාපෘතිය සැලැසුම් කිරීම වෙනුවට, පළමු ව වෙන් කළ භූමි ප්‍රදේශයක් මත පදනම් ව පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව යි. මේ නිසා විකල්ප අධ්‍යයනයන් මත පදනම් ව යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය ව්‍යාපෘති ප්‍රදේශය හඳුනා ගැනීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කර නොමැත. මේ මගින් ජාතික පාරිසරික පනත හා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාපටිපාටියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇති බව තහවුරු වේ. මෙවන් දැවැන්ත විදුලි බලාගාර ව්‍යාපෘතියක් අක්‍රමවත් වාර්තාවක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමෙන් සිදු වන්නේ කෙටි කාලයකින් ම බිඳ වැටීමට ලක් වීමයි.

පරිසර තක්සේරුවකින් තොර කැබිනට් අනුමැතීන් මත ඉඩම් වෙන් කිරීම

යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා පළමු කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2017.07.12 වන දින ය. පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ලබා ගෙන ඇත්තේ ඉන්දියානු හා ජපන් රජයන්ගේ සහයෝගයෙන් මෙගා වොට් 500 ක ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ය.

දෙවන කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018.02.27 වන දින ය. පසුගිය රජයේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහි සඳහන් වන්නේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දියා හා ජපන් ආයතන අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම ය. එහි දී ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමග ඒකාබද්ධව කොළඹ, කෙරවලපිටිය ප්‍රදේශයේ ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් හා පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමත්, විදුලි ජනන කටයුතු සඳහා ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටත්, අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපෘතියෙහි 15% ක කොටස් හිමිකාරීත්වයක් ශ්‍රී ලංකා රජයට අයත් සීමාසහිත ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගම වෙත ද, 47.5% ක කොටස් හිමිකාරීත්වයක් ඉන්දියානු රජය විසින් නම් කරනු ලැබ ඇති පෙට්ට්‍රොනෙට් එල්. එන්. ජී. සමාගම වෙත ද, 37.5% ක කොටස් හිමිකාරීත්වයක් ජපන් රජය විසින් නම් කර ඇති සෙජිට්ස් සමාගම සහ මිට්සුබිෂී සමාගම අතර වන හවුල්කාරීත්වය වෙත ද පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමේ අරමුණින් අදාළ පාර්ශව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, යෝජිත හවුල් ව්‍යාපාරය ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු හා ජපාන පාර්ශව සමග ගිවිසුම්වලට එළැඹීමට ශ්‍රී ලංකා ගෑස් ටර්මිනල් සමාගමට බලය පැවරීමටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය රජයේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුව කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීමට 2018.07.10 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙගාවෙට් 500 බැගින් වූ ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. වැඩි ම විදුලි ඉල්ලුම පවතින කොළඹ වරාය නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ද්‍රවීකෘත ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබා ගැනීමට ඇති හැකියාව සහ බලාගාරය ඉදි කිරීමට යොදා ගත හැකි සුදුසු ම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ රජය සතු අක්කර 110 ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාරය ඉදි කිරීම සඳහා මෙම කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

මෙම කැබිනට් අනුමැතීන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ යෝජිත ව්‍යාපෘති භූමි ප්‍රදේශය හඳුනා ගැනීම සඳහා මූලික ශක්‍යතා ඇගයීමක් හෝ උපායමාර්ගික පරිසර බලපෑම් ඇගයීමක් හෝ මූලික ව්‍යාපෘති වාර්තාවක් හෝ සකස් කර නොමැති බව යි. එවන් තත්ත්වයක් තුළ මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කිරීම සඳහා වන ශක්‍යතාවය හඳුනා ගැනීමට සිදු කළ වාර්තාවක් බව පිළිගත නොහැකි ය. මෙය පූර්ව නිගමන මත සකස් කළ වාර්තාවක් බව තහවුරු කිරීමට මෙය තවත් සාධකයකි. ඒ අනුව ජාතික පාරිසරික පනතේ පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියේ මූලික සිද්ධාන්ත උල්ලංඝනය කරමින් සකස් කළ වාර්තාවක් බව නිගමනය කිරීමට මේ මගින් ද හැකියාව ඇත.

මෙහි නීති විරෝධී තත්ත්වයන් එපමණකින් සීමා නොවේ. මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කර සංරක්ෂණ උපායමාර්ග සකස් කිරීම සිදු කෙරුනේ 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ය. ඒ අනුව උප කාර්මික කලාපය, ස්වාරක්ෂක කලාපය (ප්‍රේරක කලාපය) හා අභය භූමිය ලෙස මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය කලාපනය කෙරින. ස්වාරක්ෂක කලාපය ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශයක් ලෙසත්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව 1996.10.31 වන දින අංක 947/13 දරන ගැසට් නිවේදනය මගින් අභය භූමිය ලෙසත් ප්‍රකාශයට පත් කර තිබේ. නමුත් යෝජිත ව්‍යාපෘතිය සඳහා අක්කර 110 ක භූමිය නැතහොත් පරිසර ආරක්ෂණ ප්‍රදේශයට අයත් මුළු භූමි ප්‍රමාණයෙන් 22% කක ප්‍රතිශතයක් ඉවත් කිරීම කිසිදු තාක්ෂණික වාර්තාවක් පදනම් කර ගෙන සිදු කර නොමැත. 1991 මුතුරාජවෙල මහ සැලැස්මට අනුව ස්වාරක්ෂක කලාපය ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණ වන උප කාර්මික කලාපයෙන් අභය භූමි කලාපයට ඇති වන බලපෑම් පාලනය කිරීම යෝජිත බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.

ව්යාපෘතිය කොටස් කර අනුමැතිය ලබා ගැනීමේ උත්සාහය

මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත්තේ ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා බව මෙම වාර්තාව හා කැබිනට් සංදේශ විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලි වේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් 5 කින් සමන්විත වන බවත් පැහැදිලි කරුණකි. එනම්, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාරය ඉදි කරන තෙත් බිම් භූමිය ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය, තෙත් බිම ගොඩ කිරීම සඳහා වැලි ලබා ගන්නා සාගර ප්‍රදේශය, ගොඩ කළ භූමිය මත ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන තාප බලාගාර ස්ථාපිත කිරීම, ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන පාවෙන පර්යන්තය ස්ථාපිත කරන සාගර කලාපය හා             බලාගාරය දක්වා ඉන්දන පරිවහනය කරන සාගර කලාපය සහ බලාගාරයෙන් බැහැර කරන උණුසුම් ජලය මුදාහරින සාගර කලාපය වශයෙනි.

මේ ආකාරයෙන් ප්‍රධාන කොටස් 5 කින් යුත් ව්‍යාපෘතියේ බලාගාරය ඉදි කිරීමට යෝජිත භූමිය සකස් කිරීම සඳහා පමණක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සකස් කර ඇත. මේ නිසා මෙම සමස්ත ව්‍යාපෘතියෙන් සිදු වන පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට හා එම බලපෑම් පාලනය කිරීම සඳහා උපායමාර්ග යෙදීමට මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් නොහැකි වී ඇත. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියක් කොටස්වලට වෙන් කර පරිසර බලපෑම් තක්සේරු වාර්තා කිහිපයක් මගින් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ජාතික පාරිසරික පනතේ දක්වා නොමැත. ඒ අනුව මෙය ද නීති විරෝධී ක්‍රියාවක් මෙන් ම ව්‍යාපෘතියෙන් සිදු වන සමස්ත බලපෑම් පෙන්වා දීම වෙනුවට ඇති විය හැකි බලපෑම් අවම මට්ටමින් පෙන්වා දී ජනතාව නෙමඟ යැවීමට දරන උත්සාහයක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය.

ජාතික ප්රතිපත්ති හා ජාත්යන්තර සම්මුති උල්ලංඝනය කිරීම

මෙරට පිහිටි තෙත් බිම් ආණ්ඩුවකට උවමනා පරිදි භාවිතා කළ නොහැකිය. ජාත්‍යන්තර සම්මුතීන් හා ජාතික ප්‍රතිපත්ති තුළින් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප බැදී සිටී. තෙත් බිම් සංරක්ෂණය සඳහා වන රැම්සාර් සම්මුතිය 1971 පෙබරවාරි 2 වන දින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 18 ක ගේ සහභාගීත්වයෙන් අත්සන් තැබූ අතර 1975 වසරේ සිට බලාත්මක විය. 1987 වසරේ දී ශ්‍රී ලංකාව රැම්සාර් සම්මුතියට අත්සන් තැබූ අතර 1990 ඔක්තෝම්බර් මස 15 වන දින සිට බලාත්මක විය. ඒ අනුව 2021 වසර වන විට හෙක්ටයාර 1,98,172 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු රැම්සාර් තෙත් බිම් 6 ක් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර තිබේ. එපමණක් නොව 2018 ඔක්තෝම්බර් 25 වන දින ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිම් නගර 18 අතුරෙන් එකක් ලෙස කොළඹ නගරය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මෙරට තෙත් බිම් පිළිබඳ ව විශේෂ අවධානයක් ජාත්‍යන්තරව ද යොමු වී ඇති බව පෙනී යයි. එපමණක් නොව 1989 වසරේ දී සකස් කළ ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තර ව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 ක් හඳුනාගෙන ඇති අතර මුතුරාජවෙල තෙත් බිම ද ඒ අතර වේ. ජාත්‍යන්තරව වැදගත් තෙත් බිම් හා ශ්‍රී ලංකාවේ සමස්ත තෙත් බිම් සංරක්ෂණය හා කළමනාකරණය කිරීමට ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක් හා උපායමාර්ගික සැලැස්මක් 2006 වසරේ දී සකස් කර ඇති අතර එම සියලු තත්ත්වයන් උල්ලංඝනය කර පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත ආරක්ෂිත තෙත් බිමක් ආරක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර යෝජිත ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමෙන් රැම්සාර් සම්මුතිය හා තෙත් බිම් සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කර තිබේ.

තෙත් බිම් ප්‍රතිපත්තියට අනුව පමණක් නොව 2019 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපායමාර්ගවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථමික බලශක්ති සැපයුම තුළ ඛණිජ ඉන්දන දායකත්වය 50% කට අඩු කිරීම සඳහා මෙන් ම වර්ෂ 2030 වන විට සියලු බලශක්ති යෙදවුම්වල විශිෂ්ඨ බලශක්ති භාවිතය 2015 පැවති මට්ටමින් 20% කින් අඩු කිරීමට ද 2050 වසර වන විට කාබන් තුලනය මෙන් ම සියලු බලශක්ති සැපයුම් ජාලයෙන් පූර්ණ සංක්‍රාන්තිය වෙත පිවිසීම මෙන් ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අතුරෙන් 7 වන ඉලක්කය වන පිරිසිදු බලශක්තිය වෙත ප්‍රවේෂ වීම සඳහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ දේශීය වෙළදපොලට සපයමින් ප්‍රධාන නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීම සඳහා අවශ්‍ය අවකාශය ගොඩ නැංවීමට කටයුතු කරන බව ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ දක්වා තිබේ. මෙම ප්‍රතිපත්තිමය කරුණු වෙත ලගා වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරී යාමක් යෝජිත ව්‍යාපෘතියෙන් සිදු වනු ඇත.

මුතුරාජවෙල සංරක්ෂණය කරන බවට ජනතාව මුලා කිරීම

ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරයේ භූමිය ගොඩ කිරීමට අදාළ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කිරීමට පෙර 2021.05.10 වන දින මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් සකස් කිරීම, එම සැලැස්මට අනුව හඳුනා ගත් ප්‍රදේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ මුතුරාජවෙල තෙත් බිම් කලාපය රැම්සාර් තෙත් බිමක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම කැබිනට් අනුමැතියෙන් සිදු කර ඇත.

මෙම කැබිනට් අනුමැතියට අනුව මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය සහ තිරසර භාවිත සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා තෙත් බිම් අක්කර 110 ක් ගොඩ කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම අතර එකිනෙකට පරස්පරවිරෝධී සැලැසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන අභිමතාර්ථ අත්පත් කර ගැනීමට නොහැකි වේ. ඒ මගින් සිදු කර ඇත්තේ ජනතාව මුලා කිරීම පමණි.

ගංවතුර තර්ජන උග් කිරීම, තඹගල වැලි නිධිය වැනසීම හා ධීවර ජනතාව අවතැන් කිරීම

මේ වසරේ මැයි හා ජුනි මාසවල ඇති වූ වර්ෂාව හේතුවෙන් මුතුරාජවෙල ප්‍රදේශයේ ගංවතුර තර්ජන වලින් පවුල් 5000 ක් පමණ සම්පූර්ණයෙන් ම අවතැන්වීම සිදු විය. ඒ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ තවත් අක්කර 110 ක් ගොඩ කිරීම සිදු කළ හොත් මෙම ගංවතුර තත්ත්වය තවත් දරුණු මට්ටමකට පරිවර්තනය වනු ඇත.

තෙත් බිම ගොඩ කිරීම සඳහා මුහුදු වැලි ඝන මීටර මිලියන 1.5 ක් පමණ ලබා ගැනීමට සැලැසුම් කර ඇත්තේ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹ ගල ප්‍රදේශයේ වැලි නිධියෙනි. මෙම වැලි නිධිය සැකසීම සිදු වනුයේ කැළණි ගඟෙන් ගලා ගෙන එන වැලි මෝදර ප්‍රදේශයෙන් සාගරයට එක් වූ පසුව දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල් ඔස්සේ ගමන් කර තඹගල ප්‍රදේශයේ නිධිගත වීමෙනි. නමුත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් හා කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් හේතුවෙන් මෙම දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස් වී ඇත. මේ නිසා කැළණි ගඟෙන් මුහුදට එක් වන වැලි මෝදර මෝය ආශ්‍රිත ව නිධි ගත වන නමුත් එම වැලි තඹගල ප්‍රදේශයේ නිධිගත වීම ඉතා සුළු වශයෙන් සිදු වේ. වර්තමානය වන විට වැලි නිධිය සක්‍රිය ව ගොඩනැගීම සිදු නොවේ. මෙම වැලි නිධියෙන් පෝර්ට් සිටි ඉදිකිරීම් සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වැලි ලබා ගැනීම හේතුවෙන් ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. මෙම වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් බොහොමයක් ඇති විය හැකි ය.

අඛණ්ඩව වැලි ලබා ගැනීම හේතුවෙන් වැලි නිධිය ආශ්‍රිත හා ඒ අවට කලාපයේ පරිසර පද්ධතිවලට සිදු වන බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස සාගරයේ ජෛව ප්‍රජාවට සිදු වන අහිතකර බලපෑම ඒ අතුරෙන් ප්‍රධාන වේ. වැලි ලබා ගැනීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් කැලතීමට ලක් වීමෙන් සාගරයේ විශාල ප්‍රදේශයක රොන්මඩ විසිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජීවී විශේෂවල පැවැත්මට බලපෑම් එල්ල වේ. මීට අමතර ව වැලි නිධිය අඛණ්ඩව ඉවත් කිරීම හා වැලි නිධිය ගොඩ නැංවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මීගමුව කලපුවේ ස්ථාවර භාවයට අවශ්‍ය සාගර භූ තෙරපුම අහිමි වීමෙන් මීගමුව කලපුවේ පැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ වැටී යනු ඇත.

තෙත් බිම ගොඩකර ඒ මත ඉදිකෙරෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ක්‍රියාත්මක කිරීමේ දී අඛණ්ඩ ව උණුසුම් ජලය සාගරයට බැහැර කිරීමට සිදු වේ. කොළඹ වරාය සංවර්ධනය කිරීම හා පෝර්ට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සිදු කළ ගොඩකිරීම් හේතුවෙන් විශාල වෙරළාශ්‍රිත සාගර කලාපයක් ආවරණය වීම නිසා කෙරවලපිටිය හා උස්වැටකෙයියාව ආශ්‍රිත මුහුදු තීරය, දකුණු කලාපයේ සිට උතුරු කලාපය දක්වා විහිදෙන දියවැල්වලට ආවරණය වූ කලාපයක් ලෙස පිහිටයි. මේ නිසා බලාගාරයෙන් පිට කරන උණුසුම් ජලය මෙම සාගර කලාපයට බැහැර කිරීමෙන් පසුව සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර ජලයේ උෂ්ණත්වය යථාතත්ත්වයට පත් වීමට ගත වන කාලය පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත හා මොඩලයන් සැකසීම මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. බලාගාරයෙන් ඉවත් කරන උණුසුම් ජලය අඛණ්ඩව සාගරයට බැහැර කිරීම හේතුවෙන් සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම එහි ජීවීන්ගේ පැවැත්මට ඉතා ම හානිකර බලපෑම් ඇති කරයි.

මීට අමතර ව ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන ප්‍රවාහනය කරන නැව් රැඳවුම් අංගනය හා සම්බන්ධ සාගරයේ ඉදි කෙරෙන පාවෙන ද්‍රවීකෘත ස්වාභාවික වායු පර්යන්තය ඉදි කිරීම හා එම වායු ඉන්දන විදුලි බලාගාරය දක්වා ප්‍රවාහනය කරන සාගර කලාපය පිළිබඳ ව කිසිදු අධ්‍යයනයක් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් සිදු කර නොමැත. මේ සියල්ලේ ම ප්‍රතිඵල ලෙස සාගර ජෛව ප්‍රජාවට ඇති වන බලපෑම හා ඒ තුළින් ධීවර කර්මාන්තයට ඇති වන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනී යයි.

මෙතෙක් ඉතිහාසයේ දුර්වල පරිසර බලපෑම් තක්සේරු වාර්තාව

ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාර ව්‍යාපෘතියේ සමස්තය ආවරණය වන පරිදි නිවැරදි පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් සකස් නොකර ව්‍යාපෘතියේ එක් කොටසක් වන තෙත් බිම ගොඩ කිරීම සඳහා පමණක් නිවැරදි හා අත්‍යවශ්‍ය දත්ත ඇතුළත් නොකර කෙටි කාලයක් තුළ සකස් කර ඇති මෙම වාර්තාව පරිසර බලපෑම් තක්සේරු වාර්තා ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ දුර්වල ම වාර්තාව බව තහවුරු වේ. මෙම අසම්පූර්ණ වාර්තාව පදනම් කර ගෙන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හොත් කෙටි කාලසීමාවක් තුළ මෙම සමස්ත ව්‍යාපෘතිය ම බිඳ වැටීමට ලක් වනු ඇත.

මෙරට බලශක්ති අවශ්‍යතාවයට විසදුම් ලබා දීම බලයට පත් වන රජයක වගකීමකි. සැමට සමාන ව බලශක්ති භාවිත කිරීමට අයිතියක් ද ඇත. නමුත් ස්වාභාවික සම්පත් හා ජන ජීවිතය විනාශ කර ආපදාවන් බොහොමයකට රටත් ජනතාවත් ගොදුරු කර පෝර්ට් සිටි ව්‍යාපෘතියට හා කොළඹ නගරය ආශ්‍රිත බලශක්ති අවශ්‍යතාව සපුරා ලීමට බලාගාර ඉදි කිරීමෙන් පලක් නොමැත.

පසුගිය කාලය පුරා ම ගල් අගුරු බලාගාර ඉදි කිරීම සඳහා බලයට පත් වූ ආණ්ඩු උත්සාහ දැරීය. එහි දී ඉතා ම ලාභදායී බලශක්ති ප්‍රභවය ලෙස ගල් අගුරු හැඳින්වීය. නමුත් අද වන විට ලෝකයේ බොහෝ දියුණු රටවල් ගල් අගුරු බලාගාර ඉවත් කරමින් තිබේ. අද වන විට ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීම ඉතා ම ලාභදායී බව රජය සඳහන් කරයි. නමුත් ඒ සඳහා නිවැරදි දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් නොකරයි.

විකල්ප ක්රියාත්මක නොකිරීම

අලුතින් බලාගාර ඉදි කිරීම වෙනුවට මෙරට ජල විදුලි බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරයි. මෙරට ක්‍රියාත්මක සියලු මහ පරිමාණ ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වන්නේ 1970 සිට 1990 දශකය අතර කාලයේ තාක්ෂණයන් පදනම් කර ගෙන ය. එම බලාගාර සියල්ල යාවත්කාලීන කිරීම හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට කිසිදු පියවරක් මේ වන තුරු ගෙන නොමැත. එපමණක් නොව විදුලි බලාගාර හා සම්බන්ධ ජලාශවල ජල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජල පෝෂක සුරක්ෂිත කිරීමට සහ ජලාශවල ජල රැඳවුම් ධාරිතාව අඩාල කරන රොන්මඩින් පිරීයාම වැළැක්වීමට හා රොන්මඩ ඉවත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව විදුලිය බෙදාහැරීම් ජාලය කාර්යක්ෂම කිරීමට හෝ විදුලිය අපතේයාම වැළැක්වීමට හෝ කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතය සඳහා ජනතාව යොමු කිරීමට හා ඒ සඳහා බදු සහන ලබා දීමේ කිසිදු වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක නොවේ.

මෙම තත්ත්වයන්ට අමතර ව සූර්යය හා සුළං බලශක්ති ප්‍රභව මෙන් ම හඳුනාගත් යෝග්‍ය ස්ථානවල සාගර රළ තරංග භාවිත කිරීමට ප්‍රමාණවත් යොමුවක් ද ලබා ගෙන නොමැත. විශේෂයෙන් සූර්ය බලශක්ති භාවිත කිරීමේ ක්‍රියාවලිය රට තුළ වර්ධනය කිරීමට ගනු ලබන උපායමාර්ග ද වරින් වර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් අක්‍රිය කරමින් තිබේ. ඒ වෙනුවට මහ පරිමාණ බලාගාර ඉදි කිරීමට වැඩි අවධානයක් යොමු කරයි. රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීමට තීන්දු තීරණ ගනු ලබන නමුත් ක්‍රියාත්මක යාන්ත්‍රණයේ දී ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාර ඉදි කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් තිබේ.

ලෝකයේ බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට හුවමාරු වන විට ගලවා ඉවත් කරන ගල් අගුරු, ඩීසල් හා ස්වාභාවික වායු ඉන්දන බලාගාරවලට අප වැනි රටවල් ගොදුරු වෙමින් තිබේ. අනාගතයට ගැලපෙන බලශක්ති ප්‍රභවයන්ට නොව අතීතයේ දී භාවිත කළ බලශක්ති ප්‍රභවයන්ට අප යොමු වෙමින් සිටිමු. එපමණක් නොව අපගේ පාලනයෙන් තොර ආනයන මත පදනම් වූ බලශක්ති ප්‍රභවයන්ට වැඩි අවධානයක් යොමු කිරීමෙන් රටේ ආර්ථිකයට එල්ලවන බලපෑම ගැන සිතීම වෙනුවට නිලධාරීන්ට හා ඇමතිවරුන්ට අඛණ්ඩව කොමිස් මුදල් ලැබෙන ක්‍රමවේදයන්ට අනුව බලශක්ති නිෂ්පාදනය කිරීමට යොමු වීම හේතුවෙන් ගැටළු මතු වෙමින් තිබේ. මේ තත්ත්වයන්ට පිළිතුරු ලබා දෙන තුරු බලශක්ති අර්බුදයට විසදුම් ලබා දීමට නොහැකි ය.

■          ද්‍රවීකෘත ස්වාභාවික වායු ඉන්දන බලාගාරය ඉදි කිරීමට ගොඩ කිරීම සඳහා යෝජිත මුතුරාජවෙල පරිසර ආරක්ෂක කලාපය. (රතු පැහැ ඕවලාකාර සලකුණෙන් දක්වා ඇත.)

■          මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ ගොඩ කිරීමට යෝජිත ප්‍රදේශය. (රතු පැහැ රවුමෙන් සලකුණු කර ඇත.)

■          මුතුරාජවෙල තෙත් බිම ගොඩ කිරීමට වැලි ලබා ගැනීමට යෝජිත සාගර කලාපය. (දුඹුරු පැහැයෙන් සලකුණු කර ඇත.)

Spread the love