DONATE NOW
In Arts & Culture,Blog,Education,Environmental,Health

නීති විරෝධී යාන්ත්රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම, දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම, කඳු වැටි නායේ යෑමට ලක් වීම, මාර්ග හා ජනාවාස භාවිතයට ගත නොහැකි වීම සහ මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ජන දිවිය බිඳ වැටී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ. නමුත් ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් ජනතාවට ඇති වන සියලු පීඩාවන් යටපත් කිරීම හේතුවෙන් යාන්ත්‍රික පතල් කැණීම් ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව සියලු මූලික අයිතිවාසිකම් අහිමි වූ ජනතාවක් ලෙස ජීවත් වේ. 

මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලිස් දෙපාර්තමේන්තුව සියලු වගකීම් පැහැර හැරීම ය. නීති විරෝධී මැණික් කැණීම් කටයුතු නතර කිරීමට අවශ්‍ය වැටලීම් සිදු නොකිරීම, බලපත්‍රවල කොන්දේසි අනුව කැණීම් සිදු කිරීම පිළිබඳ ව සොයා බැලීමට පසු විපරම් නොකිරීම පමණක් නොව නීති විරෝධී කැණීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ලබා ගැනීම ද ඒ සඳහා බලපා තිබේ. මීට අමතර ව නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් යටතේ බලපත්‍ර ලබා දීමට අල්ලස් ලබා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග වර්ධනය වීම හේතුවෙන් යාන්ත්‍රික මැණික් කැණීම් නිසා ඇති වන මහජන පීඩාවන් ප්‍රමාණය වර්ධනය වී තිබේ. මේ නිසා මැණික් කර්මාන්තයෙන් රටට ලැබෙන ආර්ථික වාසිවලට වඩා ඇති වන පාරිසරික හා සමාජයීය බිඳ වැටීම් ඉහළ මට්ටමක පවතී.

මැණික් අධිකාරියේ නීති විරෝධී ක්‍රියාමාර්ග

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ මගින් උග්‍ර මහජන පීඩාවන් ඇති කරමින් ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයින්ට කටයුතු කිරීමට ඉඩ දී සිටිති. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී ද පෙනී යන්නේ නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් ව සිදු කර නොමැති බව ය. නමුත් ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින්ගේ ප්‍රකාශ මගින් තහවුරු වී ඇත.

2000 අංක 53 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් බගවන්තලාව මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම, කුරුවිට, පැරඩයිස්වත්ත මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට මහ පරිමාණ මැණික් ජාවාරම් සිදු කිරීම සඳහා ව්‍යාපාරිකයින්ට මඟ පෙන්වීම සිදු කරන බව ය.

එපමණක් නොව කුඹුක්කන්ඔයේ නියදැල්ල, උපාලිය ප්‍රදේශවල හා රත්නපුර දිස්ත්‍රික්කයේ වේ ගගේ බණමඩු වල සහ බැංකු වල ආදී ස්ථාන බොහොමයක නීති විරෝධී මහ පරිමාණ යාන්ත්‍රික මැණික් කැණීම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබා දීම හා නීති ක්‍රියාත්මක නොකර සිටීම හේතුවෙන් සිදු වූ විනාශය මෙතෙකැයි ගණනය කළ නොහැකි ය. මෙම යාන්ත්‍රික මැණික් කැනීම් හේතුවෙන් ගංගාවල් ඇතුළු ජල මූලාශ්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වීම පමණක් නොව ඒවායෙහි ජීවත් වූ සියලු ජෛව ප්‍රජාව සම්පූර්ණයෙන් ම වඳ වීමට ලක් වී ඇත.

යාන්ත්‍රික පතල් කැණීම සඳහා බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර, උකහා ගැනීමේ යන්ත්‍ර (උකහා ගැනීමේ යන්ත්‍ර රත්නපුර ප්‍රදේශයේ පොම්ප ගැසීම ලෙස හඳුන්වයි.) පමණක් නොව යාන්ත්‍රික සැල්ලඩ ද භාවිතා කරනු ලැබේ. මේවා භාවිතයෙන් එක් වරකට විශාල ප්‍රදේශයක් කැණීම් කරන අතර යාන්ත්‍රික ඉල්ලම් සේදීමේ දී විශාල රොන්මඩ ප්‍රමාණයක් අඛණ්ඩව ජල මූලාශ්‍රවලට එක් වේ. ඒ හේතුවෙන් ජල මූලාශ්‍ර සියල්ල ම සම්පූර්ණයෙන් ම රොන්මඩින් පිරී යාමට ලක් වෙති. යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු විනාශ කිරීම, ඉතා ගැඹුරු පතල් කැණීම හේතුවෙන් භූගත ජල මට්ටම පහළ යාම නිසා ඒ අවට බොහෝ ජනතාවකට ළිං ජලය භාවිත කළ නොහැකි වීම හා කුඹුරු ඉඩම් වගා කළ නොහැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මේ සියලු හේතු මත යාන්ත්‍රික පතල් කැණීම් භූමි අවට ජීවත් වන ජනතාව දැඩි පීඩනයකට ලක් ව සිටිති.

අල්ලස් මත නීති ක්‍රියාත්මක නොකිරීම

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙම පනතේ 49(1) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් සඳහා භාවිතා කරන භාණ්ඩ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීමේ බලය ඇති අතර 50 වන වගන්තියට අනුව ඒවා රජය සතු වන්නේය. 51(2) වගන්තියට අනුව නීති විරෝධීව මැණික් කැණීම් කරන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දස ලක්ෂයක් දක්වා දඩයකට හෝ වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.

මෙතරම් විශාල බලතල ප්‍රමාණයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙන් එම අධිකාරියට ලබා දී තිබිය දී මෙම බලතල භාවිතා කර විධිමත් මැණික් කැණීම් කටයුතු රට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වීම වෙනුවට සිදු කරන්නේ ප්‍රභල දේශපාලඥයින් හා මහ පරිමාණ ව්‍යාපාරිකයින් සමඟ සම්බන්ධ වී ජාවාරම් කටයුතුවල නිරත වීම හා අල්ලස් ලබා ගනිමින් ජාවාරම්කරුවන්ට රැකවරණය ලබා දීම ය. එහි අවසන් ප්‍රතිඵලය අවට ජීවත් වන ජනතාව දැඩි පීඩනයකට ලක් වීම ය.

පොලීසිය බලතල ක්‍රියාත්මක නොකිරීම

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි ය. ඒ අනුව 2013.10.16 වන දින අංක IGP/Fax/IN/1634/2014  දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක්‍රලේක අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැති ව නීති විරෝධීව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ ව සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

නීති විරෝධී මැණික් කැණීම් සිදු කරන ස්ථාන පොලිස් නිලධාරීන්ට හඳුනා ගැනීම පහසු කිරීම සඳහා වලංගු බලපත්‍ර සම්බන්ධයෙන් ලැයිස්තුවක් සෑම මසක ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු විසින් අදාළ පොලිස් ස්ථානය වෙත ලබා දිය යුතු ය. නමුත් ලබා දී ඇති සියලූ ම බලතල භාවිත කර අදාළ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නේ අල්ලස් ලබා ගනිමින් නීති විරෝධී මැණික් කැණීම් කටයුතු බාධාවකින් තොර ව සිදු කර ගෙන යාමට පහසුකම් සැලසීම පමණි.

2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය ගහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිතා කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය තුළ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.

ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයින් ව අත් අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇති අතර පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

යාන්ත්‍රික මැණික් කැණීමෙන් කුඹුරු ඉඩම් වැනසීම

කුඹුරු ඉඩම්වල මැණික් කැණීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගත යුතු වේ. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා සශ්‍රික කුඹුරුවල පවා මැණික් කැණීමට අනුමැතිය ලබා දේ. එම අනුමැතීන් මත නැවත භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට කුඹුරු ඉඩම් පරිවර්තනය කළ ද දිගින් දිගට ම මැණික් ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ලබා ගනිමින් කුඹුරු ඉඩම් තුළ මැණික් කැණීම සඳහා අවසර ලබා දේ. යාන්ත්‍රික පතල් කැණීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් අවසර ලබා දෙනු ලබන්නේ අක්කර එකක් හෝ ඊට වැඩි භූමි ප්‍රමාණයක් සඳහා ය. ඒ අනුව අක්කරයකට වඩා වැඩි කුඹුරු ඉඩම් මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය තුළ මහ පරිමාණයෙන් බැකෝ යන්ත්‍ර යොදා ගෙන මැණික් කැණීම් කරති. කුඹුරු ඉඩම්වල විශාල වලවල් සකස් කර මැණික් ඉල්ලම් මතු කර ගැනීම සිදු කරන අතර බැකෝ යන්ත්‍ර යොදා ගෙන සිදු කරන කැණීම් කටයුතු පහසු කිරීම සඳහා විශාල වතුර පොම්ප මගින් කුඹුරු ඉඩම්වල ජලය සම්පූර්ණයෙන් ම ඉවත් කරනු ලැබේ. මේ හේතුවෙන් අවට ළිං සිදීයාම පමණක් නොව අවට පිහිටි බොහෝ කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වේ. යාන්ත්‍රික සැල්ලඩ මගින් මැණික් ඉල්ලම් සේදීමේ දී ඉවත් වන රොන්මඩ විශාල වශයෙන් ජල මූලාශ්‍රවල හා අවට කුඹුරු ඉඩම්වල තැම්පත් වීම සිදු වේ. මේ නිසා ද යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන කුඹුරු ඉඩම් ආශ්‍රිත ව පිහිටි අනෙක් කුඹුරු ඉඩම් ද භාවිතයට ගත නොහැකි තත්ත්වයට පරිවර්තනය වේ. මේ සියල්ල සිදු වෙද්දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දිගින් දිගට ම මැණික් කැණීම් සඳහා නිර්දේශ ලබා දේ.

යාන්ත්‍රික මැණික් කැණීම් මහ පරිමාණයෙන් සිදු වන ස්ථාන

කිරිඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ හැරනියාව ප්‍රදේශයේ පිහිටි කළු ගඟේ, කුරුගම්මෝදර, වක්කලම ලෙස හඳුන්වන ස්ථානයේ නීති විරෝධී ව මහ පරිමාණයෙන් උකහා ගැනීමේ යන්ත්‍ර (Sucker Machine) 4 ක් භාවිතයෙන් මැණික් කැණීම සිදු කරයි. කළු ගඟේ සිදු කරන මෙම මැණික් කැණීම් හේතුවෙන් ගං ඉවුරු හා ගං පතුළ සම්පූර්ණයෙන් ම විනාශ කරමින් අධික රොන්මඩ ප්‍රමාණයක් කළු ගඟට එක් කරයි. මේ හේතුවෙන් අවට ජනතාවට ගඟ භාවිත කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම අහිමි කර දැවැන්ත විනාශයක් සිදු කර තිබේ.

කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එල්ලාවල, එල්ලාවල පහළගම, එල්ලාවල ඉහළගම හා මාටුවාගල ග්‍රාමනිලධාරී වසම්වල අද වන විට කුඹුරු ඉඩම් සම්පූර්ණයෙන් ම විනාශ කරමින් යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරයි. බැකෝ යන්ත්‍ර මගින් කුඹුරු ඉඩම් කැණීම් කර හුණුගල කැඩීම සඳහා බෝර පිපිරවීම සිදු කර ඉල්ලම් මතු කර ගනී. දහවල් කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ ද මෙම ප්‍රදේශයේ මැණික් කැණීම් කටයුතු සිදු කරන අතර බෝර පිපිරවීම් ද දවස පුරාම සිදු කරනු ලැබේ. මේ නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් අතහැර දමා තිබේ.

එල්ලාවල, පිටකන්ද ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මහ පරිමාණ මැණික් කැණීම් හේතුවෙන් පිටකන්ද නායේ යෑමේ අවධානමක් මතු ව තිබේ. මේ නිසා ඒ ආශ්‍රිත ව ජීවත් වන පවුල් කිහිපයක් ඉවත් කර මාටුවාගල ප්‍රදේශයේ පදිංචි කර තිබේ. එම කන්ද ආශ්‍රිත ව දැනට පදිංචි ව සිටින ජනතාවට ද එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු අඟවා තිබේ.

යාන්ත්‍රික පතල් කැණීම හේතුවෙන් මාර්ග බොහොමයක් භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත් ව ඇත. මේ නිසා එල්ලාවල පරණ පාර සහ එල්ලාවල – නාකන්දල පාර ගිලා බැසීමට ලක් ව තිබේ. කුඹුරු ඉඩම්වලට අමතර ව පොල්, තේ හා රබර් ඉඩම්වල ද අද වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පතල් කැණීම් සිදු කරයි. එසේ මැණික් කැණීම් කළ ස්ථාන සියල්ල ම ඉතා ම අනතුරුදායක ලෙස අතහැර දමා තිබේ. ඒ පිළිබඳ ව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කිසිදු සොයා බැලීමක් සිදු නොකරයි. ඊට අමතර ව කුරු ගඟේ අතු ගංගාවක් වන එල්ලාවල ගඟේ ද මේ වන විට යාන්ත්‍රික මැණික් කැණීම් නීති විරෝධී ලෙස සිදු කරනු ලැබේ.

යාන්ත්‍රික මැණික් කැණීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකරවණය ද සර්ව සාධාරණ විය යුතු ය, යනුවෙන් සඳහන් වුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන්නේ මෙම මූලික අයිතිවාසිකම ප්‍රදේශවාසීන්ට අහිමි කරමිනි. 14(1)(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල වෘත්තියක නිරත වීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස යාන්ත්‍රික මැණික් කැණීම් හේතුවෙන් අහිමි කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතු ය, යනුවෙන් සඳහන් වුව ද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් ව්‍යාපාරිකයන් හා ප්‍රභල දේශපාලඥයින් සමඟ එක් වී රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ යාන්ත්‍රික පතල් කැණීමෙන් සම්පූර්ණයෙන් ම වනසමින් සිටිති.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය උල්ලංඝනය කිරීම

වත්මන් ජනාධිපතිතුමන් ජනතාව සමඟ සම්මුති ගත වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අට වන කොටසේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් යටතේ දැක්වෙන ආකාරයට ස්වාභාවික ව්‍යවනයන්ට ඔරොත්තුදෙන ගම්මාන ඇති කිරීම, හරිත සංවර්ධනයක් ඇති කිරීම, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් වත්මන් ආණ්ඩුවේ ප්‍රභල දේශපාලඥයින් සම්බන්ධ වෙමින් අද වන විට රත්නපුර දිස්ත්‍රික්කය පුරා ම නීති විරෝධී ලෙස යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරයි. මේ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය වචනවලට පමණක් සීමා වී තිබේ.

මැණික් යනු රටට සම්පතක් බව අප පිළිගනිමු. රත්නපුර දිස්ත්‍රික්කයේ අවසාධිත දියලු තැම්පතුවල පවතින මැණික් ක්‍රමාණුකූලව ලබා ගෙන අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි ය. මෙරටින් අපනයනය කරන වර්ග 75 ක් පමණ වන මැණික් ගල් වර්ග වෙළෙද පොල තුළ දුර්ලභ වන තරමට ඒ සඳහා වැඩි වටිනාකමක් හිමි වේ. නමුත් අද වන විට යාන්ත්‍රික කැණීම් ක්‍රම මගින් කෙටි කාලයක් තුළ විශාල පරිසර විනාශයක් සිදු කර වැඩි මැණික් ප්‍රමාණයක් මතු කර ගෙන බහුල ව අපනයනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙද පොලේ මෙරට මැණික් සුලභ වීම තුළින් වෙළෙද පොල ඉල්ලුම අවම වී ලැබෙන ආදායම අඩු වී යයි. මේ තත්ත්වය අද වන විට අප රට මුහුණ දෙමින් තිබේ.

දැවැන්ත පරිසර විනාශයක් සිදු කර ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ දමමින් ජීවත් වීමට ඇති අයිතිය පවා අහිමි කරමින් සිදු කරන යාන්ත්‍රික මැණික් කැණීම් තුළින් අවසානයේ මෙරටට ඉතිරි වන්නේ විනාශයන් පමණි. මේ නිසා තිරසර ක්‍රමවේදයක් යටතේ පාරම්පරික මැණික් කැණීම් ක්‍රම තුළින් සියලූ ම ජනතාවට ප්‍රතිලාභ හිමි වන අයුරින් මැණික් කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු ව ඇත. ඒ සඳහා ආණ්ඩුපක්ෂ දේශපාලඥයින්ගේ වුවමනාවන් මත සිදු කරන නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් සම්පූර්ණයෙන් ම නතර කළ යුතු ය. එසේ නොවුනහොත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ගේ හා දේශපාලඥයින් කිහිපදෙනෙකු ගේ ලාභය උදෙසා රත්නපුර දිස්ත්‍රික්කය විනාශ වන කාලය වැඩි ඈතක නොවනු ඇත. ඒ තත්ත්වයට රත්නපුර දිස්ත්‍රික්කය පරිවර්තනය කිරීම වැළැක්වීමට ඊට එරෙහි ව ජනතාව එක් රැස් විය යුතු ව ඇත.

එල්ලාවල ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන ආකාරය.

බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වලවල් සකසා යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කර අනතුරුදායක ලෙස අතහැර දමා ඇති ප්‍රදේශ.

Spread the love