DONATE NOW
In Arts & Culture,Blog,Education,Environmental,Health

නාකොලගනේ වනාන්තරය හා පාලුකඩවල වැව නායක හිමිනමක් හා ව්යාපාරිකයන් එක් ව වනසයි

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය හා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් මේ ආකාරයෙන් එළිපෙහෙලි කිරීම සිදු කෙරෙමින් පවතී. නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස සැලකෙන මෙම වනාන්තර ඉඩම් එම විහාරස්ථානයේ විහාරාධිපති වලත්වැව රාහුල හිමියන් දේශපාලඥයින්ගේ රැකවරණය භාවිතා කරමින් නීති විරෝධී ව ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට පවරා දී තිබේ. මේ වන විට අක්කර 50 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙලි කර ඇති අතර තවදුරටත් අක්කර 700 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කිරීමට ව්‍යාපාරිකයන්ට මේ වන විටත් පවරා දී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව මෙම නින්දගම් වනාන්තර නීති විරෝධී ව ව්‍යාපාරිකයන්ට පවරා ඇති අතර පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් එම වනාන්තර එළි කිරීම සිදු කරමින් පවතී. ලංකාවේ වැඩි ම අලි – මිනිස් ගැටුමක් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම තව තවත් වර්ධනය වීම සිදු වනු ඇත.

වැව් හා ගොවි බිම් පෝෂණය කරන නාකොලගනේ වනාන්තර පද්ධතිය අහිමි කිරීම

කුඩා හා මහ වැව් 25 කට වඩා වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් වැව් පද්ධතියකින් හා ජල පෝෂක වනාන්තර වලින් සැදුම්ලත් මේ සමස්ත ප්‍රදේශය අක්කර 5000 ක් පුරා පැතිර තිබෙන අලි – ඇතුන්ගේ පෝෂක භූමියක් පමණක් නොව ප්‍රධාන අලි මංකඩකි. මේ භූමිය තුළ අක්කර 2700 ක් පමණ වන නාකොලගනේ රජ මහා විහාරයට අයත් නින්දගම් ඉඩම් පිහිටා ඇති අතර ඒ තුළ වැව්, වනාන්තර ප්‍රදේශ හා ජනාවාස පිහිටා තිබේ. මීට අමතර ව මෙම සමස්ත ප්‍රදේශයේ ම හේන් වගා බිම්, කුඹුරු ඉඩම්, වැව් පද්ධති, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ බිම් හා ගංගාශ්‍රිත වනාන්තර වැනි විවිධ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි ය.

මෙම නින්දගම් ඉඩම හා සම්බන්ධ වනාන්තර ප්‍රදේශ කිහිපයක් වෙයි. දකුණු මායිම ආශ්‍රිත ව කතාකරනකන්ද හා මීගස්පිටිය – මඩදෙනිගම වනාන්තරය පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ අත්තනපොල රජයේ කැලය පිහිටා තිබේ. මේ සියලු වනාන්තර වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වැස්මක් සහිත වේ.

නාකොලගනේ නින්දගම් ඉඩම් තුළ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ මහ වැව් හා කුඩා වැව් විශාල ප්‍රමාණයක් පිහිටා ඇති අතර වැඩි ප්‍රමාණයක් කුඩා වැව් වේ. කුඩා වැව් වැසි ජලයෙන් පමණක් පෝෂණය වේ. මානක්කුලමයාගම වැව, හුණුගල්ලෑව වැව, අතරගල්ල වැව, ගුරුගොඩ වැව, ඒරියාව වැව, පල්ලේරියාව වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කරගස්සන වැව, ඌරපොලයාගම වැව, ඇතිනිමලේ වැව, මීගස් වැව, කදුබොඩයාගම වැව, කඩවල වැව, කිවුලේගම වැව, නැකතිකොන් වැව, කුඩා මීගස්පිටිය වැව, කැලේගම වැව, කොතලවැටිය වැව, මහ මීගස්පිටිය වැව, දඹෑ වැව, අන්දර වැව, කිරිබත් පෑලැස්ස වැව හා ගනේපතාන වැව ඒ අතර වේ.

අතරගල්ල වැව හා ඒරියාව වැව ජලජ පක්ෂීන් බහුල ව ජීවත් වන ප්‍රදේශයකි. අලින් බහුල ව වාර්තා වන්නේ පල්ලේරියාව වැව, ඉකිරියවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව යන වැව් ආශ්‍රිත ව ය. හුණුගල්ලෑව වැව, මානක්කුලමයාගම වැව, ගුරුගොඩ වැව, ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව, කදුබොඩයාගම වැව, ඇතිනිමලේ වැව හා මීගස් වැව යන වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමේ පවතින අතර ඒවා නිසි පරිදි සැකසීමෙන් අලි – ඇතුන්ගේ පෝෂක බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීමේ හැකියාව ඇත.

නින්දගම් ඉඩමට පිටතින් පිහිටන වැව් කිහිපයක් වේ. ඒ අතුරින් පාලුකඩවල වැව ප්‍රධාන වැවකි. මේ වැවේ, වැව් පිටිය හා උපරිම ජල රැඳවුම් කලාපය නින්දගම් ඉඩම තුළට ද ව්‍යාප්ත ව තිබේ. මීට අමතර ව වැවේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම නින්දගම් ඉඩමේ වනාන්තර පද්ධතියයි. මේ වනාන්තර ප්‍රදේශය වටා මහගල්ගමුව වැව, බඩල්ගම වැව, අඹකොල වැව ආදී සුවිශේෂී වැව් කිහිපයක් ම ව්‍යාප්තව පවතී. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හෙක්ටයාර 5496 ක් පමණ වන කුඹුරු ඉඩම් වලින් වැඩි කොටසකට වාරි ජලය සපයන්නේ මෙම වැව් පද්ධතියෙනි. මෙම වනාන්තර විනාශයත් සමඟ වැව් පද්ධතියේ ජල පෝෂක බිම් අහිමි වී රදවා ගත හැකි ජල ප්‍රමාණය සීමා වීමෙන් කුඹුරු ගොවිතැන බිඳ වැටීමට ලක් වනු ඇත. වැව් පද්ධතියට අමතර ව මේ නින්දගම් ඉඩම තුළ පුරාවිද්‍යාත්මකව වැදගත් වන ස්ථාන කිහිපයක් පිහිටා තිබේ. ඉන් ප්‍රධාන වන්නේ නාකොලගනේ රජමහ විහාරය හා සම්බන්ධ ගල්ලෙන් විහාරය සහ කටාරන් සහිත ගල්ලෙන් ය. මීට අමතර ව ගුරුගොඩ පුරාවිද්‍යා රක්ෂිත භූමිය පිහිටා ඇති අතර එම ස්ථානයේ නටබුන් වූ වෙහෙරක් හා විහාර සංකීර්ණයක් පිහිටා තිබේ. එම ස්ථානයේ මේ වන විට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු සිදු කරනු ලැබේ. මීට අමතර ව හුණුගල්ලෑව වැවේ, වැව් බැම්මේ පුරාවිද්‍යාත්මක ව වැදගත්වන පැරණි මායිම් ගල් කණුවක් හමු වී තිබේ.

වනවිනාශයෙන්ගම්මානවලජනතාවඅලි – මිනිස්ගැටුමේගොදුරක්බවටපත්කිරීම

නින්දගම් ඉඩම තුළ ගම්මාන හතරක් පිහිටා තිබේ. පවුල් 76 ක් පමණ ජීවත් වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත් වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත් වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම ඒ අතර වෙයි. අලි – ඇතුන්ගේ වාසස්ථාන වන මෙම වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කිරීමත් සමඟ ම මෙම ගම්මානවල හා ඒ අවට ගම්මානවල ජනතාව අලි – මිනිස් ගැටුමේ දරුණු ගොදුරක් බවට පත් වනු ඇත.

මෙම නින්දගම් ඉඩම් පසුගිය කාලසීමාව තුළ අක්‍රමවත් ලෙස පරිහරණය කිරීම හේතුවෙන් නිසි ලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් ව තිබේ. ඒ හේතුවෙන් ම මේ ආශ්‍රිත ප්‍රදේශවල අලි – මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතී. නින්දගම් ඉඩම් ලෙස පවතින ජල පෝෂක වනාන්තර බිම්වල මහ පරිමාණ වාණිජ වගා බිම් ඇති කිරීම, ගල්කොරි පවත්වා ගෙන යාම, පස් කැපීම සඳහා යොදා ගැනීම, හේන් වගාවන් සඳහා අක්‍රමවත් ලෙස එළිපෙහෙළි කිරීම, අක්‍රමවත් ලෙස ජනාවාස පිහිටු වීම හා අක්‍රමවත්ව විදුලි වැටවල් ස්ථාපිත කිරීම යන හානි කර ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, භූමිය අස්ථාවර වීම හා භූමියේ ඵලදායීතාවය අඩු වීම, භූගත ජල මට්ටම අඩු වීම වැනි හේතූන් නිසා සමාජීය ප්‍රශ්න බොහොමයක් උද්ගත ව තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා මේ ප්‍රදේශය තුළ නිසි ඉඩම් භාවිත ක්‍රමවේදයක් සකස් කළ යුතු ව ඇත. අක්‍රමවත්ව සිදු කරන සංවර්ධන කටයුතු විධිමත් කිරීම මෙන්ම හානි කර මානව ක්‍රියාකාරකම් නතර කිරීමට පියවර ගැනීම හා වනාන්තර පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම මෙන්ම අවට ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත වනාන්තර හා නින්දගමට අයත් වනාන්තර පද්ධති සම්බන්ධ කිරීම සිදු කළ යුතු ව ඇත. මීට අමතර ව වැව් පද්ධති සකස් කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම ජල පෝෂක වනාත්තර බිම් ප්‍රදේශ සුරක්ෂිත කිරීම තුළින් මේ ප්‍රදේශයේ ජල සුරක්ෂිතතාවය ඇති කළ යුතු ව තිබේ. එමගින් ප්‍රජාවගේ කෘෂි හා පානීය ජල සුරක්ෂිතතාව ඇති වන අතර අලි – මිනිස් ගැටුම පාලනයට ද ඒ තත්ත්වය ඉවහල් වෙනු ඇත. හුදෙකලා වනාන්තර කුට්ටි ඒකාබද්ධ කිරීමෙන් අවහිර වී ඇති අලින්ගේ සංක්‍රමණික ගමන් මාර්ග සම්බන්ධ කළ හැකි අතර දහවල් කාලයේ දී ජනාවාස ආශ්‍රිත වනාන්තර කුට්ටිවල අලි රැඳී සිටිමින් රාත්‍රී කාලයේ දී ග්‍රාමීය ප්‍රදේශවලට හා වගා බිම්වලට පැමිණ සිදු කරන හානි අවම කර ගැනීමට ද ඒ තත්ත්වය ඉවහල් වේ.  මෙමගින් අලි – මිනිස් ගැටුම පාලනය කළ හැකි වන අතර අලින්ට අවශ්‍ය පානීය ජල ප්‍රභවයන් නිසි පරිදි ලබා දීමෙන් ග්‍රාමීය ප්‍රදේශවලට පිවිසීම බොහෝ දුරට අඩු කළ හැකි ය.

නාකොලගනේඅලි – ඇතුන්ගේප්‍රධානවාසස්ථානය

සමස්තයක් ලෙස නාකොලගනේ වනාන්තරය පුරා ම අලි – ඇතුන් සැරිසරන බවට සාධක පවතී. නමුත් අලි – ඇතුන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන ප්‍රදේශ කීපයක් වේ. ඒ අතුරින් වැඩි ම අලි ගහන ඝනත්වයක් වාර්තා වන්නේ පාලුකඩවල වැවේ, වැව් පිටියේ ය. මේ වැව් පිටිය නින්දගම් ඉඩමට ඇතුළත් වේ. පාලුකඩවල වැවට පැමිණෙන අලි දහවල් කාලයේ රැඳී සිටින්නේ නින්දගම් ඉඩම තුළ පිහිටන වනාන්තර ප්‍රදේශවල ය.

පල්ලේරීයාව වැව තවත් වැඩි ම අලි ගහනයක් වාර්තාවන ප්‍රදේශයකි. මේ වැව ආශ්‍රිත ව නින්දගම් ඉඩමට පිටතින් රජයේ කැලයක් වන ‘කතාකරන කන්ද’ පිහිටා තිබේ. එම ප්‍රදේශයේ සිට මේ වැව ආශ්‍රිත ප්‍රදේශයට අලි පැමිණේ. මීට අමතර ව ඉකිරිවත්තේගම වැව, අස්වැද්දුම වැව හා හුණුගල්ලෑව ආශ්‍රිත ප්‍රදේශවල වැඩි අලි ගහනයක් වාර්තා වේ. නින්දගම් ඉඩම තුළ පිහිටන අනෙක් වනාන්තර ප්‍රදේශ අලි – ඇතුන් දහවල් කාලයේ රැඳී සිටීමට භාවිතා කරන බව අධ්‍යයන මඟින් තහවුරු වී තිබේ.

නින්දගම් ඉඩම තුළට අලි සංක්‍රමණය වන මාර්ග කීපයක් ඇති අතර සංක්‍රමණය වන අලි නින්දගම් ඉඩම පුරා විසිරීම සිදු වන මාර්ග කිහිපයක් ද වේ. නින්දගම් ඉඩමට අලි සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග 6කි. විල්පත්තුව, රාජාංගනය, ගිරිබාව, ගල්ලෑව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට අලින් සංක්‍රමණය වේ. එතැන් සිට පාලුකඩවල වැවට අලි ගමන් කරයි. කහල්ල – පල්ලකැලේ සිටින අලි මඩගල්ල, හාතිගමුව හරහා මී ඔය ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ මොරගස්වැව, ඉහලගම, උඩකොටුව හරහා අඹකොල වැවට පැමිණ එතනින් මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මහව සිටින අලි මහකඩුවාව, රජ්ජලේගම, මැඬියාව හරහා අඹකොල වැවට පැමිණ එතැන් සිට නින්දගම් ඉඩමට පැමිණේ. මේ මාර්ගය ඔස්සේ පැමිණෙන්නේ අඩු අලි – ඇතුන් ප්‍රමාණයකි. ඉගිනිමිටිය ජලාශයේ සිට තේක්ක වන වගාවට පැමිණෙන අලි එතැන් සිට පාලුකඩවල වැවට පැමිණ ඉන් පසූව නින්දගම් ඉඩම පුරා ව්‍යාප්ත වේ. කහල්ල – පල්ලේකැලේ හා සියඹලන්ගමුව වැවේ සිටින අලින් ගල්ගිරිය කන්ද පාමුල ඔස්සේ රැස්වෙහෙර කන්දට පැමිණ එතැනින් අත්තනපොල රජයේ කැලය හරහා මෙම නින්දගම් ඉඩමට පැමිණේ. මෙය ඉතාම පැරණි අලි සංක්‍රමණික මාර්ගයක් ලෙස සැලකේ. මීට අමතරව දේවගිරිපුර සිට කරගස්සන වැව හරහා හුණුගල්ලෑව ප්‍රදේශයට හා පාලුකඩවල වැවට අලි සංක්‍රමණය වේ.

මෙසේ නින්දගම් ඉඩමට සංක්‍රමණය වන අලි ආකාර කිහිපයකින් වනාන්තර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වේ. අත්තනපොල රජයේ කැලය හරහා නින්දගම් ඉඩමට පැමිණෙන අලි එතැන් සිට හුණුගල්ලෑව හරහා පාලුකඩවල වැවට පැමිණේ. පාලුකඩවල වැවේ සිටින අලි අතරගල්ල වැව, පල්ලේරියාව වැව, ඒරියාව වැව හරහා ඉකිරිවත්තේගම වැව දක්වා නින්දගම් ඉඩමේ බටහිර, නිරිතදිග හා දකුණු ප්‍රදේශවල ව්‍යාප්ත වේ. මෙම අලි – ඇතුන්ගේ ගමන් මාර්ග සියල්ල ම මෙම වනාන්තර එළි කිරීමෙන් හා එම බිම් වල වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීමෙන් එම සතුන්ට අහිමි වනු ඇත.

නාකොලගනේවනාන්තරයේජෛවවිවිධත්වය

2014 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකක දී ලියුම්කරු විසින් මෙම වනාන්තරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව කෙටි අධ්‍යයනයක් සිදු කරන ලදී. ඒ අනුව මෙම නින්දගම් ඉඩම තුළ විවිධ පරිසර පද්ධති ගණනාවක් පිහිටන බව අනාවරණය විය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, වියළි තෘණ භූමි හා ගංඟාශ්‍රිත වනාන්තර ප්‍රමුඛ ව දැක ගත හැකි ය. මීට අමතර ව වැව් හා වැව් පිටි ආශ්‍රිත ව පිටාර තැනි බිම් දැක ගත හැකි වේ. මෙම කෙටි අධ්‍යයනයේ දී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනළුන් යන සත්ත්ව කාණ්ඩ 4ට අයත් විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. ඒ අතර ලංකාවට ආවේණික විශේෂ 5ක් වාර්තා කිරීමට හැකි විය. 2012 රතු දත්ත ලේඛනයට අනුව ආසන්න තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් හා තර්ජිත මට්ටමේ සිටින එක් විශේෂයක් අධ්‍යයන ප්‍රදේශයෙන් වාර්තා විය.

අධ්‍යයනයේ දී පක්ෂි විශේෂ 75ක් වාර්තා වූ අතර ඉන් විශේෂ 4ක් ලංකාවට ආවේණික වේ. මෙම පක්ෂීන් තෙත් බිම් ආශ්‍රිත හා වනාන්තර වාසී විශේෂ ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. බොහෝ පක්ෂි විශේෂවල කැදලි තනන ප්‍රදේශයක් ලෙස ද මේ වනාන්තර ප්‍රදේශ භාවිතා වේ. අධ්‍යයන කාල සීමාව තුළ දී වාර්තා වූ සමනළ විශේෂ ගණන 25 කි. එක් ආවේණික විශේෂයක් ඇතුළත් ක්ෂීරපායී විශේෂ 12ක් මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. අධ්‍යයනයේ දී වාර්තා වූ උරග විශේෂ ගණන 6කි. මෙවන් විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වන ප්‍රදේශයක් තුළ පිහිටි, වැඩි ම අලි – ඇතුන් ප්‍රමාණයක් ජීවත් වන පාලුකඩවල වැව ඉහත්තාවේ සුවිශේෂී ජල පෝෂක ප්‍රදේශය තුළ මේ වන විට ව්‍යාපාරිකයන් විසින් වනාන්තර සියල්ල විනාශ කර වාණිජ වගා ව්‍යාපෘති කියාත්මක කර ඇති අතර අඛණ්ඩ ව වනාන්තර විනාශ කරමින් වගා බිම් ව්‍යාප්ත කරනු ලැබේ.

ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවඋල්ලංඝනයකිරීම

මෙම වනාන්තර විනාශය ජාතික පාරිසරික පනත, වයඹ පලාත් පරිසර ප්‍රඥප්තිය හා පුරාවස්තු ආඥාපනත යන අණ පනත් උල්ලංඝනය කරමින් සිදු කරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද අහිමි කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් ඒ අනුව කිසිදු වගකිවයුතු රාජ්‍ය ආයතනයක් මේ වන විනාශය වැළැක්වීමට එම නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය ද මෙම වන විනාශය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට අහිමි කර ඇත. පාලුකඩවල වැවේ ඉහත්තාව, ජල පෝෂක වනාන්තර හා අලි – ඇතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම නිසා රොන්මඩ වැවට එක් වී වැව ගොඩවීමට ලක් වීම හා ජල පෝෂක අහිමි වීම නිසා වැවේ ජලධාරීතාව අඩු වීම සෘජුව ම කෘෂිකර්මාන්තය කෙරෙහි බලපෑම් ඇති වේ. මේ නිසා වැව යටතේ කෘෂිකර්මාන්තයේ නිරත ජනතාවට තම ජීවන වෘත්තිය අහිමි වේ. මෙම වන විනාශය නිසා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන් වගා බිම්වලට පැමිණ විනාශ කිරීමෙන් ගොවි ජනතාවට ජීවන වෘත්තීන් අහිමි වේ. මේ අනුව මෙම වනාන්තර විනාශයෙන් නාකොලගනේ අවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් බොහොමයක් අහිමි වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පලාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ අණ පනත් උල්ලංඝනය කරමින් වලත්වැව රාහුල හිමියන් විසින් නාකොලගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් ව්‍යාපාරිකයන්ට පැවරීම හා නීති විරෝධීව වනාන්තර එළි කර පරිසරය විනාශ කිරීමට එරෙහිව මෙතෙක් නීති ක්‍රියාත්මක කර නොමැත. මේ නිසා අද වන විට අලි – ඇතුන්ගේ වාසස්ථාන හා වැව්වල ජල පෝෂක වනාන්තර අහිමි වෙමින් තිබේ. මේ අනුව මෙම මහා වන විනාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමෙන් මෙම ආයතනවල රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත.

අලි මිනිස් ගැටුම උග් වීම

ලංකාවේ අලි – මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. ඊට හේතුව වනාන්තර ප්‍රතිශතය අඩු වීම හා ඉතිරී වී ඇති අලි ඇතුන්ගේ වාසස්ථාන කුට්ටිකරණය වී පැවතීම ය. මේ නිසා අලි – ඇතුන් ගම් වැදීම හා වගා බිම්වලට පිවිසීමෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තා වේ.

2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි – ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පලාතේ අලි – ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව සොයා ගෙන තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි – ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

2018 වසරේ දී අවසන් වරට සිදු කෙරුණු ඉඩම් භාවිතය පිළිබඳ ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේකනවලට අනුව පෙනී යන්නේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම වනාන්තර ප්‍රතිශතයක් ඉතිරි වී ඇති බව ය. හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ හා තෘණ භූමි ව්‍යාප්තව ඇත්තේ හෙක්ටයාර 66228 ක පමණ ප්‍රමාණයකි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණ වේ. වනාන්තර මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම අලි – මිනිස් ගැටුම උග්‍ර වීමට සහ වැව් හා ජල මූලාශ්‍රවල ජල පෝෂක ප්‍රදේශ ප්‍රමාණය අඩු වීමෙන් පානීය හා වාරි ජල අර්බුධ ඇති වීමට ද හේතු සාධක වේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි ම අලි – මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ ගල්ගමුව හා ඇහැටුවැව යි. නාකොලගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් ලෙස පවතින වනාන්තර විනාශය සිදු කෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ වාර්තා වන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17500 ක් වන අතර එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ 40% ක පමණ වනාන්තර ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර දැඩි නීතිමය රැකවරණයක් නොමැති ව පවතී. මේ අතුරින් නින්දගම් ඉඩම් ලෙස සැලකියයුතු වනාන්තර ප්‍රමාණයක් පැවතීම නිසා ඒවා නිරන්තරයෙන් එළිපෙහෙලි කිරීම්වලට ලක් වේ. මෙම වනාන්තර එළි කිරීම්වලට ලක් කිරීමේ අවසාන ප්‍රතිඵලය අලි – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම තුළින් අලි හා මිනිසුන් ඝාතනයට ලක් වන ප්‍රමාණය වැඩි වීම හා වාසස්ථාන අහිමි වන අලි – ඇතුන්ගෙන් වගා බිම් විනාශයට ලක් කරන ප්‍රමාණය දිනෙන් දින ම වර්ධනය වීමයි. මීට අමතර ව ජල පෝෂක වනාන්තර බිම් වැව් ඇතුළු ජල මූලාශ්‍රවලට අහිමි වීම නිසා ජල අර්බුධ උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. මේ සියල්ලේ ම ප්‍රතිඵලය වන්නේ ගොවි ජනතාව අවතැන් වී දැඩි අසීරුතාවයට පත් වීමයි.

නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කළ යුතු

මේ තත්ත්වයන් සඳහා පිළියමක් ලෙස නාකොලගනේ වනාන්තර හා වැව් පද්ධතිය රක්ෂිත ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතු ය. ඒ තුළින් මෙම සියලූ ම වන විනාශයන් පාලනයට ක්‍රියාමාර්ග ගත හැකි ය. 2006 සැප්තැම්බර් මස 20 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණ හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට අනුව අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා මෙම ප්‍රදේශය නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. වැව් පද්ධතිය ඇතුළු ව මෙම සමස්ත වනාන්තර ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක වටිනාකම, පුරා විද්‍යාත්මක වටිනාකම, ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ඇති වටිනාකම සැලකිල්ලට ගෙන 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව නාකොලගනේ වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු ය. මෙලෙස ප්‍රකාශයට පත් කිරීමේ දී නින්දගම් ඉඩම් පැවතීම ගැටළුවක් නොවන අතර එම ඉඩම් රජයට පවරා ගැනීමකින් තොරව වනඅලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නෛතික හැකියාව ඇත.

මේ අයුරින් මෙම සමස්ත ප්‍රදේශය ආරක්ෂා නොකළහොත් ඉතා ම කෙටි කලක දී මෙම ප්‍රදේශයේ වනාන්තර පද්ධති හායනයට ලක් කිරීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් ඇති විය හැකි අතර ම මෙම ප්‍රදේශයේ වැව් පද්ධතිය මත පදනම් වූ කෘෂි කර්මාන්තය ද කෙටි කලකින් ම විනාශයට ලක් වනු ඇත.

Spread the love