DONATE NOW
In Blog,Education,Environmental

ගංවතුර ! ගංවතුර !! කොරේ පිටට මරේ වගේ ආවනේ ගංවතුරත්!!

මේ දිනවල උදෑසන නිදි පැදුරෙන් අවදි වූ මොහොතේ පටන් රාත්‍රියේ නිදි වැදෙන තත්පරය දක්වා ම සවන වැකෙන ආරංචි අතරට එක්වූ අලුත් ම අසුබ ආරංචිය , “ගංවතුර”යි.කොරෝනා වසංගතයෙන්ද හෙම්බත් ව සිටින ශ්‍රී ලාංකීය ගොවි ජීවිතවලට “ගංවතුර”එල්ල කරනු ලැ⁣බුවේ මරු පහරක් බව කොයිකාටත් නොරහසකි.මන්ද පුරා දින කිහිපයක් මුළුල්ලේ නොනවත්වා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අහිංසක ජන ජීවිත රාශියක් ම මේවන විට මරු තුරුළට ගොසිනි.ඒ හැරුණුකොට සිදුවූ දේපල හානි ගණන⁣ය කිරීමෙන් කවර නම් ඵලක් ද ?නමුත් එදාමෙදා තුර ගං දිය පහරට ගසාගිය වටිනා දෑ අතරට ගොවිබිම්වලට සිදුවූ හානිය අමතක කළ නොහැක්කේ, රටක ආර්ථිකයේ කොඳුනාරටිය හා එය ඍජුවම සම්බන්ධ ව ඇති බැවිනි.

එසේනම් ⁣”ගංවතුර අවදානම වළක්වා ගන්නේ කෙසේද ?” යන පැනය ලිපිය කියවන සෑම දෙනෙකුගේම මනසේ ජනිතවූවාට සැක නැත.කෙතරම් දියුණු විද්‍යා සහ තාක්ෂණික දැනුමකින් සන්නද්ධවුවත් තවමත් මෙවනි ස්වාභාවික ආපදාවක් වළක්වා ගැනීමට මිනිසා අපොහොසත්ය.ඊට බලපා ඇති කාරණා බොහෝමයකි.

විශේෂයෙන්ම පස සංයුක්ත වීම වැනි සාධක හේතුකොටගෙන වර්ෂාවේදී පසට එක්වන ජලය පස තුළ රඳවා ගැනීමට අපහසුතා ඇති කරයි.
පසෙහි ඇති පැළුම් , රේඛා සහ ඉරිතැලීම් හරහා පස තුළට යන ජල ප්‍රවාහය සාන්ද්‍රණය වේ.එබැවින් ජල මාර්ගවලට ගලායන ජලයේ පරිමාව හා වේගය ද වැඩිවේ.එහි ප්‍රතිඵලය නම් ගංවතුර අවදානම ඉහළ යාමයි.

ගංවතුර අවදානම වළක්වා ගැනීමට අතීතයේ සිට යොදාගත් , තවමත් යොදාගන්නා ක්‍රියාමාර්ග රාශියකි. නමුත් ඒ අතරින් ගංවතුර ගලා ඒම වළක්වාලන බාධකයක් ලෙස වැටි ඉදිකිරීම සහ ගැඹුරු ළිං කැනීම වැනි ගංවතුර අවදානම ඇතිවීම වැළැක්වීමට යොදාගන්නා සාම්ප්‍රදායික ක්‍රම සඳහා ඉහළ පිරිවැයක් වැය වේ.එසේම බොහෝදුරට එමගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද ⁣අපහසුය.

වර්තමානය වනවිට ගොවීන් වඩවඩාත් නැඹුරුවී සිටින්නේ ගංවතුර , නියඟ යන ආපදා දෙකෙහිම බලපෑම අවම කිරීමට සමත් ” හරිත යටිතල පහසුකම් ” ලෙස හඳුන්වන ස්වාභාවික විසඳුම් කෙරෙහිය.එය සැබවින්ම ⁣සමස්ත ලෝකයාටම සෙත සලසන්නකි.හරිත යටිතල පහසුකම්වල ප්‍රතිලාභ විමසා බැලීමේදී මේ බව තවදුරටත් සනාථ වේ.

හරිත යටිතල පහසුකම් යන පදය අපගේ කනට නුහුරු නමුත් ඒ යටතේ ගංවතුර වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නම් බොහෝදෙනෙකුට දැනීමක් ඇත.
වැසි ජලය එකතු කිරීම , ශාක රෝපණය යනාදිය අයත්වන්නේ ඒ යටතටය.සාමාන්‍යයෙන් හරිත යටිතල පහසුකම් , භූ දර්ශනය මත ජලය රඳවා තබාගැනීමට මහත්සේ උපකාරී වේ.ඒ නිසා නියං තත්ත්වයකදී පවා කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය ” ජලධර” ලෙස හඳුන්වන භූගත ජලාශවලින් පානීය ජල පහසුකම් සලසාගැනීමේ හැකියාව ලැබෙනවා පමණක් නොව එමගින් ගංවතුර තත්ත්වයකදී ජලය , පහත්බිම්වලට ගලා ඒම ද වළක්වාලයි.

වගා සංරක්ෂණය මගින් ද පාංශු ඛාදනය සිදුවීම අවම කර ගොවියාට ගංවතුරට පමණක් නොව නියං තත්ත්වයන්ටද පවා සාර්ථක මුහුණ දීමට අවස්ථාව සලසාදෙයි. ඇස්තමේන්තුගත දත්තවලට අනුව වගා කිරීමේ කටයුතු ඇණ හිටීම නිසා ජලය කාන්දුවීම 30-40% කින් පමණ ඉහළට නැඟේ.ඒ ඔස්සේ සලකා බලනවිට වාරි වගාබිම් ඇති ගොවීන්ට අත්වන ප්‍රතිලාභය කොතරම්ද ?

ගංදියෙන් ආරක්ෂා වීමට අපට ඇති හොඳම ස්වාභාවික ආරක්ෂකයා නම් තෙත්බිම් පද්ධතියයි.නමුත් වර්තමානයේ වාණිජ පරමාර්ථ මුල් කරගනිමින් අවාසනාවන්ත ලෙස පරිසර පද්ධතියෙන් නික්මයන නිහඬ සේවකයා ද තෙත්බිම් පද්ධතියයි .භූගත ජල සැපයුම නැවත ආරෝපණය කර අතිරික්ත ජලය ගබඩා කරන බැවිනි.ඉන්දියානාහි පර්යේෂණ කණ්ඩායමක් විසින් තෙත්බිම්වල වටිනාකම ප්‍රමාණනය කර ඇති අතර භූ දර්ශනයෙන් 1.5 %ක තෙත්බිම් නිර්මාණය කිරීමෙන් ගංවතුරේ උච්චතම අවස්ථාවන් 29% කින් අවම කළ හැකි බවට අනාවරණය කොටගෙන ඇත.එබැවින් ගංවතුර අවධානමෙන් අත්මිදීමට ඇති හොඳම විසඳුම තෙත්බිම් පද්ධතිය ආරක්ෂා කිරීමයි.

ගංවතුර මෙන්ම නියං බලපෑම අවම කරගැනීමට අබ , කරාබුනැටි වැනි ආවරණ බෝගවලට විශේෂ හැකියාවක් ඇත.ඒ එවැනි බෝග සතු ගැඹුරු මූල පද්ධතිය පසේ ධාරිතාව පුළුල් කර ජලය ගබඩා කිරීමට උපකාරීවන බැවිනි.

ඒ නිසාම ගංවතුර අවදානම අවම කොටගෙන ඉහළ ඵලදායිතාවක් ලබාගෙන ගොවියා ඇතුළු සමස්ත ලාංකික ප්‍රජාවම සුරක්ෂිත කරගැනීමට ගත හැකි ස්වාභාවික ක්‍රම කොතරම් අප සතුද ?

Spread the love